එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයේ බලපෑම
මානවයා ගල් යුගය, එඬේර යුගය,ගොවි යුගය වැනි විවිධ අවධීන් පසු කරමින් පැමිණි ගමන් මඟේ අතිශය ප්රමුඛ භූමිකාවක් සන්නිවේදනය විසින් දරනු ලැබීය. එයට ප්‍රධානතම හේතුව නම් පුද්ගලයාට සන්නිවේදනයකින් තොරව සමාජයක් තුළ ජීවත්වීමට පවා නොහැකි වීමයි. මානව සංහතිය ආරම්භයේ සිට මානවයා අනවතර ලෙස සන්නිවේදන ක්‍රියාවලියේ නිමග්ගව සිටියි. සන්නිවේදනය මිනිසුන්ගේ අන්‍යෝන්‍ය ක්රියාකාරීත්වයේ සුවිශේෂී ස්වරූපයක් බැවින් එමඟින් ශ්‍රම හා ප්රජානන ක්‍රියාකාරීත්වය ප්‍රකට වේ. සමාජයෙන් තොරව මිනිසාට පැවැත්මක් නොමැති අතර සන්නිවේදනය පුද්ගලයාගේ හා සමාජයගේ ප්‍රධාන ජීවන අවශ්‍යතාවයක් ලෙසින් ක්‍රියාත්මක වෙයි. ඉංග්‍රීසි භාෂාවට ‘communication’ යන පදය එකතු වන්නේ 15 වැනි සියවසේදීය. වචනාර්ථයෙන් ගත්විට එය ‘යම් දෙයක් සම්බන්ධයෙන් සම්ප්‍රේෂණයේ පොදු ක්‍රියාවලිය’ වේ. සන්නිවේදනය යනු මාධ්‍ය හා තොරතුරු යන සන්නිවේදන සංඝටක අතර ඇතිවන අන්තර්ක්‍රියාවේ ප්රතිඵලයකි. ප්‍රාථමික ඓතිහාසික මානවයා සිය සන්නිවේදන කටයුතු සඳහා ප්‍රාථමික සන්නිවේදන ක්‍රම භාවිත කළ අතර 20වන සියවසේ සිදු වූ සන්නිවේදන මාධ්‍යන්ගේ හා තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟ සමස්ත සමාජයම මාධ්‍යකරණයට ලක් විය. එහිදී ජනමාධ්‍ය බලපෑම් සහගත සමාජීය ආයතනයක් බවට පත්විය. එසේ බිහි වූ ජනමාධ්‍ය, අද රාජ්‍ය හා සමාජීය පරිපාලන නෛතික ව්‍යුහයන් සමාජ පුද්ගලභාවයට ඇති කරන බලපෑමට නොදෙවෙනි බලපෑමක් එල්ල කිරීමට තරම් ප්‍රබල වී ඇත. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට පැවතුණ මෙම සන්නිවේදනයේ උච්චතම අවස්ථාව වන්නේ වත්මන් භාවිතයේ පවතින ජනමාධ්‍ය නම් සුවිශේෂී ප්රපංචයයි. ජනමාධ්‍ය වූ කලී සංකීර්ණව විහිදුණු ප්‍රභේද රැසක සංයුතියකි. මුද්‍රිත මාධ්‍ය ජනමාධ්‍යයේ මුල්ම ප්‍රභේදය වන අතර එය පොත්, පුවත්පත්, සඟරා, මුද්‍රිත මාධ්‍ය යනාදී වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ලෙස තවත් ප්‍රභේද කිහිපයකට වෙන් කළ හැකි අතර එ්වා නම් රසායනික මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ ප්‍රාසාංගික මාධ්‍ය වෙයි. ජනමාධ්‍ය අතරින් වඩාත් වැදගත් වන්නේ විද්‍යුත් මාධ්‍ය වන අතර ඒ අතර ගුවන්විදුලිය හා රූපවාහිනිය ප්රමුඛ වෙයි. ඒ අනුව ජනසන්නිවේදන ක්‍රියාදාමය තුළ භාවිතයට ගැනෙන වාහකයා ජනමාධ්‍ය වේ. ජනමාධ්‍ය පිළිබඳ යුනෙස්කෝ සංවිධානය මඟින් 1980දී ඉදිරිපත් කරන ලද මතය වූයේ “ජනමාධ්‍ය යනු තොරතුරු හෙවත් පණිවුඩ යම්කිසි සන්නිවේදන ක්‍රියාවලියක් අනුගමන කොට මහජනයා වෙත ගෙන යන වාහකයා” බවයි. එහිදී ජනමාධ්‍ය ලෙස හඳුනාගත හැක්කේ සන්දේශ වඩා පුළුල් ග්රාහක පරාසයක් දක්වා විහිදීමට යොදාගනු ලබන තාක්ෂණික ක්‍රියාවලියක් ලෙසටයි. ජනසමාජයක පැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍ය ඉටු කරන සුවිශේෂී කර්තව්‍යයක් ඇති අතර කාලය ගත වීමත් සමඟ එහි ස්වරූපයේ හා ආකෘතියේ වෙනස්කම් දැකගත හැකි වෙයි.
මෙරට ඓතිහාසික සමාජයේ ගතිකත්වයන් නිරූපණය කරන මුල්කාලීන පුවත්පත්වල ස්වභාවය තරමක් වෙනස්මඟක් ගත්හ. 1900 – 1948 අධිරාජ්‍ය විරෝධී අවියක් වෙමින් ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක් ආරම්භ වීම සිදුවිය. දේශපාලනය වෙත උද්යෝගීව නැඹුරු වීම, වාමාංශික ව්‍යාපාරය සඳහා වේදිකාවක් වීම, ආගම හා ජාතිය පිළිබඳ හැඟීම් තහවුරු කිරීම, සාහිත්‍යය කලා අභිවර්ධනයට රුකුල් දීම හා උගතුන්ට, විචාරකයින්ට, නිර්මාණකරුවන්ට සෙවණක් වීම මෙම පුවත්පත්වල විශේෂයෙන් කැපී පෙනුණ ලක්ෂණයි. 1930 පියසේන නිශ්ශංක මහතාගේ සංස්කාරකත්වයෙන් ‘සිළුමිණ’ පුවත්පත ආරම්භ කෙරිණ. එවකට ‘ශත 10යේ විශ්වවිද්‍යාලය’ අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ‘සිළුමිණ’ දැනුම වර්ධනය, සංවාද, සාහිත්‍ය, කලා යනාදී බොහෝ අවශ්‍යතා සපුරාලමින් සමාජය දැනුමින් පෝෂණය කරන්නට පෙරමුණ ගැනිණ. එසේම 1930 ගණන්වල සිට ක්‍රමයෙන් වර්ධනය වූ වාමාංශික ව්‍යාපාරයට සමඟාමීව වැඬුණු පුවත්පත් කලාවද සුවිශේෂීය. එම පුවත්පත් සමාජ අසාධාරණත්වය, අයුක්තියට එරෙහි වීම සම්බන්ධයෙන් දෘෂ්ටිවාදය පෙළගැස්වීම සඳහා දායක විය. නිදහසින් පසු ලංකාවේ පුවත්පත් අතර පොදුවේ ඉස්මතුව ආ නිදහස අර්ථවත් කර ගැනීමට ගන්නා ලද උත්සහයන්, ස්වදේශික මාධ්‍ය සම්ප්රදායක් ගොඩනැඟීමේ අවශ්‍යතාවන් සඳහන් කළ යුතුව ඇත. එසේම මෙම කාලවකවානුවේ පුවත්පත් මාධ්‍යයේ හැසිරීමෙහි දක්නට ලැබූ ප්‍රකට කරුණක් වුයේ දැවෙන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රශ්නාවලීන් පිළිබඳ මත ගොඩනැඟීමයි.
වර්තමානයේ පුවත්පත් මාධ්‍යයේ හැසිරීම පිළිබඳ අවධානය යොමු කරන විට එහි සාධනීය මෙන්ම නිෂේධනීය ලක්ෂණද ඇති බව හඳුනාගත හැකිය. ලිඛිත ප්රකාශනයක් වු පුවත්පත් ප්රවෘත්ති තොරතුරු, වෙළෙඳ දැන්වීම් වලින් සමන්විත අතර බොහෝ විට පුවත්පතක් මඟින් දේශපාලන, අපරාධ, ව්‍යාපාර, කලාව, ක්‍රීඩා ආදි ක්ෂේත්‍ර ගණනාවක තොරතුරු පළකිරීම සිදු කරයි. පුවත්පත් කලාව බොහෝ දෙනාගේ ඇඟයීමට පාත්‍ර වුවද පුවත්පත් ආයතන හිමිකරුවන්ගේ අභිමතය පරිදි ඉස්මතු කරන ඇතැම් තොරතුරු වෙනස් විය හැකි අතර නිවැරදි දත්ත වුවද වෙනස් කර පළ කරන අවස්ථා තිබේ. පුවත්පත් හිමිකරුවා දරන දේශපාලන පක්ෂය හෝ දේශපාලන භූමිකාව සමඟම පුවත්පතේ තොරතුරු මෙහෙයවනු දකින්නට ලැබේ. ඇතැම් පුවත්පත් හිමිකරුවන් දේශපාලනයේ බල අවියක් ලෙස පුවත්පත් යොදා ගනියි. ඇතැම් පුවත්පත් දේශපාලනයේ සිදුවන වංචා, දූෂණ පිළිබඳ ද වාර්තා කරයි. කෙසේ නමුත් නූතන පුවත්පත් මඟින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස වැදගත් මෙහෙවරක් සිදුකරන අවස්ථාද, බැහැර කළ නොහැකිය.
තත්කාලීන පුවත්පත් බොහෝමයක් දෛනිකව සිදුවන සිදුවීම් ඔස්සේ පුවත්පතේ ශිර්ෂපාඨ සැකසීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවා වඩාත් පාඨක ආකර්ෂණය දිනා ගන්නා ලෙස සජීව කරන්නට විවිධ උපක්‍රම ගන්නා බවත් සඳහන් කළ යුතුය. එමෙන්ම මුද්‍රිත පුවත්පත අද කොවිඩ් වසංගතයත් සමඟ මාර්ගගත ක්‍රමවේදයට යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්වයි. පුවත්පත් කාටුනය මඟින් සමාජ දෘෂ්ටිවාදය සැකසීම්, නවමු අදහස් සමාජගත කිරීම් දකින්නට ලැබෙන අතර එදිනෙදා දේශපාලන සිදුවීම් වඩාත් ආකර්ෂණීය භාෂාවකින් කරළියට නැංවීමත් පුවත්පත් මඟින් සිදුවෙමින් පවතියි. කෙසේ නමුත් පුවත්පත් ආචාර ධර්ම පද්ධතීන්වලට අනුව සෑම තොරතුරක්ම, පුවතක්ම පුවත්පත් විසින් පළ කරනු ලබනවාද, යන්න පිළිබඳව ගැටලු මතු වන අවස්ථාද, සුළුපටු නොවේ. බොහෝ විචාරකයන්ගේ මතය වනුයේ ජනමාධ්‍ය නියාමනය කළ යුතු බවයි. නැතිනම් එය ඒකාධිකාරයක් දක්වා වර්ධනය වන බවයි. රටේ යම්කිසි ප්‍රමාණයකට හෝ අවිධිමත්ව හා අක්‍රමවත්ව සිදුවන මාධ්‍ය හැසිරීම භාෂාමය හා ආචාරවිද්‍යාත්මක, සදාචාරාත්මක ව්‍යුහ හා ප්රවණතා තුළ සිර වී විකෘති වී ඇති බව පෙනේ. ඒ නිසාම ජනමාධ්‍ය මඟින් ඉටුවන කාර්ය්යන්ද නිසිලෙස සිදුවේද යන්න උභතෝකෝටිකය.
ශබ්ද මාධ්‍යයේ දැවැන්තයා වන ගුවන්විදුලිය ඉතා වැදගත් මාධ්‍යයක් වන අතර ගුවන්විදුලියේ සියලු රිතීන් ගොඩනැඟෙන්නේ ශ්රාවකවත්වය තුළ ඇති සීමාවන් හා ප්රබලතා පාදක කරගනිමින්ය. මෑතකාලීන ගුවන්විදුලියේ ක්‍රියාකලාපයට වඩා මුල්කාලීනව පැවති ගුවන්විදුලි මාධ්‍යයේ හැසිරීම් රටා සියලු දෙනාගේ ඇගයුමට පාත්‍ර වේ. එනම් ගුවන්විදුලි වැඩසටහන්, ප්රවෘත්ති ආදි සියලු වැඩසටහන් මඟින් ප්‍රේක්ෂකයා ප්‍රඥාවෙන් සන්නද්ධ කිරීම නිසාය. ගුවන්විදුලියේ ශ්‍රාවක වපසරිය ඉතා පුළුල් වූවක් නිසා එය ග්රාහක ආකර්ෂණය හා අවධානය නිරන්තරයෙන් දිනා ගැනීමට සමත් වේ. ගුවන්විදුලියද වාණිජ්‍යකරණයට ලක් වීම තුළ එහි පැවති සාධනීය ලක්ෂණ අඩු වූ අතර භාෂා භාවිතය සම්බන්ධයෙන් විශාල සංවාදයක්ද, ඇති විය. ගුවන්විදුලි නිවේදක, නිවේදකයන් හඬ භාවිතය, භාෂා භාවිතය හා විනයක් නොමැති ඉදිරිපත් කිරීම් නිසා ගුවන්විදුලියෙන් මිනිසා ඈත්වීමට පටන් ගෙන ඇත. ගුවන්විදුලියට ආවේණික අනන්‍යතාවයක් ගොඩනඟාගනිමින් සංවර්ධන හිතෛෂී හා මානව දැනුම් සම්භාරය යාවත්කාලීන කිරීමට ගුවන්විදුලියේ උපයෝගීතාව පවතී. ගුවන්විදුලියේ හැසිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේදි නිර්මාණශිලී පඨිත භාවිත කිරීමේ ඇති දුර්වලතාව හා වාග් බස භාවිත කිරීමේ සිට සත්‍ය තොරතුරු ලබා දෙන්නේද යන්න පිළිබඳව ඇති වන්නේ ගැටලුවකි.
රූපවාහිනි මාධ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික නාලිකා පවතින අතර වාණිජ්‍යකරණය හමුවේ දැවැන්ත තරඟයක් මෙම නාලිකා අතර නිර්මාණය වී තිබේ. රූපවාහිනි විශේෂාංග, ළමා, දේශපාලන, වාර්තා, ටෙලිනාට්‍ය, විනෝදාස්වාද, රියැලිටි, ප්රවෘත්ති ආදී වශයෙන් විවිධ අනුෂාංගික වැඩසටහන් ඉදිරිපත් වන අතර බහුතර රූපවාහිනී නාලිකා ග්රාහකයා විවිධ සංවේදනයන්ට නතු කර ගැනීම සිදු කෙරේ. බොහෝ පෞද්ගලික නාලිකා වර්තමානයේ තරු තරඟයක නිමග්ගව සිටින අතර රූපවාහිනියේ හැසිරීම අනුකරණවාදී මුහුණුවරක් ගනී. රූපවාහිනි රියැලිටි වැඩසටහන් මිනිස් හැඟීම් සමඟ ක්‍රීඩා කරමින් තරු තෝරන තරු සංකල්පය නිර්මාණය කරලයි. බොහෝ විට රූපවාහිනියේ හැසිරීම අවධානය දිනා ගැනීම, ආකර්ෂණයක් දිනාගැනීමට, මායාව ඇති කිරීම, මනෝරූපකයන් මැවීම ආදිය මූලික කරගෙන සිදුවෙයි. මේ තුළ සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික අර්බුද රැසක් නිර්මාණය කිරීමට රූපවාහිනිය හැසිරීම බලපායි. මෙවැනි ආකාරයේ ජනප්‍රිය සංස්කෘතිකවාදයේ ඇති නැඹුරුතා නිසාම රූපවාහිනිය දැඩි දෝෂාරෝපණයට ලක්වන අවස්ථාද නැතුවාම නොවෙයි. රටේ සම්ප්රදායයන්, හරපද්ධතීන් රැකගෙන උචිත ලෙස ප්රතිජනනාත්මක හැසිරීමක් රූපවාහිනිය මඟින් ආරම්භ කළ යුතුවෙයි. එමෙන්ම ප්රවෘත්ති වැඩසටහන් සඳහා යොදාගන්නා භාෂාව, ඡායාරූප ආදිය මාධ්‍ය ආචාරධර්මවලට අනුකූල වන පරිදි රූපවාහිනියේ හැසිරීම වගකීම් සහගත කිරීමත් අනිවාර්ය වේ.
ජනමාධ්‍ය ආයතනයක් පවත්වා ගෙන යාමට ධනය ලබා ගැනීමට අවැසි අතර තරඟකාරි මාධ්‍ය කලාව තුළ තරඟ වැදීමට ද සිදුවේ. නමුත් මෙම ප්‍රධාන ධාරාවන්ගේ මාධ්‍ය වඩා ධනාත්මක ආකාරයෙන් සිය හැසිරීම් මාලා සංවිධානගත කිරීමද අනිවාර්ය වේ. එහිදී මාධ්‍ය මඟින් ග්රාහකයන් ඉල්ලන දේ ලබා දීමට නොව මාධ්‍ය මඟින් ග්රාහකයාට ලබා දෙන පණිවුඩය, තොරතුර, අදහස් මොනවාද යන්න පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. ගුණාත්මක හා ප්‍රමාණාත්මක යම් ප්රගතිශීලී මට්ටමකින් මාධ්‍යයේ හැසිරීම සකස්විය යුතු අතර ජනමාධ්‍ය මූලික කාර්යභාරයන් මැනවින් ඉටු කළ යුතු වේ. ජනයාගේ මාධ්‍ය වන ජනමාධ්‍ය ජනතාවගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ප්රගමනය හෝ අපගමනයට සෘජුවම දායක වන බව නොරහසකි. එහිදී රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත වැනි ප්‍රධාන ධාරාවන්ගේ මාධ්‍ය මඟින් රටක සංවර්ධනයට හා අනෙකුත් අංශවලට බලපාන ඉඩකඩ වැඩිය. මෙනිසා සිව්වන ආණ්ඩුව ලෙසින් හඳුන්වන ජනමාධ්‍යයේ හැසිරීම ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට වඩා සාධනීය ලක්ෂණයන්ගෙන් යුතුව වඩා වගකීම් සහගතව වීම ප්‍රධාන ග්රාහක අවශ්‍යතාවයක් වන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුවෙයි.
සටහන
තරුෂි ප්‍රනාන්දු
ජනමාධ්‍ය අධ්‍යයනාංශය
කොළඹ විශ්වවිද්‍යාලය
සංස්කරණය : බිනූ දිලාරා ගමගේ